Thursday, April 11, 2013

රටින් එන රෝගීන්ගෙන් මැලේරියාව පැතිර යෑමේ අවදානමක්
අනුරාධ සැමුවෙල්

ශ්‍රී ලංකාවට එන විදෙස් රෝගීන් නිසා මැලේරියා රෝගය නැවැත වරක් මෙරට ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ජාතික මැලේරියා මර්දන ඒකකයේ අධ්‍යක්ෂ සරත් දෙනියගේ මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ විදෙස් රටවලින් එන මැලේරියා රෝගීන් නිසා ශ්‍රී ලංකාවේ මැලේරියා රෝගය තුරන් කිරීමට විශාල බාධාවක් වී ඇති බවයි.
ඉන්දියාව, අප්‍රිකාව, මියන්මාරය වැනි රටවලින් එන ඇතැම් මැලේරියා රෝගීන් ශ්‍රී ලංකාවට ඇතුළුවන විට රෝගයට ප්‍රතිකාර නොගැනීම ප්‍රබල ගැටලුවක් බවත් ඒ හේතුවෙන් මදුරුවන් මාර්ගයෙන් රෝගය ශ්‍රී ලංකාව ඇතුළත නැවැත ව්‍යාප්ත විය හැකි බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මේ තත්ත්වය වහාම නැවැත්වීමට මේ විදේශිකයන් ශ්‍රී ලංකාවට ඇතුළු වන විටම මැලේරියා රෝගියෙක් ද යන්න සෙවීමට ගුවන් තොටුපොළේදීම ලේ පරීක්ෂණයක් සිදු කිරීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද සරත් දෙනියගේ මහතා පවසයි.

2014 වර්ෂය මැලේරියා රෝගය සම්පූර්ණයෙන් තුරන් කළ යුතු වර්ෂය ලෙස නම් කර ඇත. දැනට ශ්‍රී ලංකාවේ මැලේරියා රෝගීන් විසි දෙකක් වාර්තා වන අතර විදෙස් රටවලින් පැමිණි මැලේරියා රෝගීන් සංඛ්‍යාව දෙසීය ඉක්මවයි.

මැලේරියා මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවැසුවේ 1963 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ මැලේරියා රෝගීන් 17 දක්වා අඩුකර තිබුණත් විදෙස් රටවලින් පැමිණි රෝගීන් නිසා පසු කාලයේ රෝගී සංඛ්‍යාව ලක්ෂ ගණනක් දක්වා වැඩි වූ බවයි.
2013-04-11 03:00:00

No comments:

Post a Comment