Wednesday, April 24, 2013

ජාතික ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත

  • රෝහල්වල ඖෂධ හිඟය ගැන විමසුමක්
beheth12
කාලයෙන් කාලයට මතුවෙන, යළිත් යට යන, එහෙත් කිසිදා නැති නොවන රජයේ රෝහල්වල ඖෂධ හිඟය මේ වන විට උච්චතම ස්ථානයකට පැමිණ තිබේ. රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයට පැමිණෙන රෝගීන්ට ඖෂධ පෞද්ගලික ඔසුසල්වලින් ලබා ගැනීමට නියම කිරීම මේ දිනවල ජයටම පවතී. ඉතිහාසයේ වැඩිම මුදලක් ඖෂධ වෙනුවෙන් මේ වසරේදී රජය වෙන් කර ඇත. එසේ තිබියදීත් රජයේ රෝහල්වල මෙතරම් ඖෂධ හිඟයක් මතුවූයේ කෙසේදැයි යන්න බරපතළ ප්‍රශ්නයක් බව අමුතුවෙන් කිව යුතු නැත.
මෙහිදී සැලකිල්ලට ලක්විය යුතු වැදගත්ම කරුණක් වන්නේ රටේ ජනගහනයට සාපේක්ෂව එසේත් නැතිනම් රෝගීන්ගේ වැඩි වීමට සාපේක්ෂව සෞඛ්‍ය සඳහා වෙන් කරන මුදල වැඩි නොවීමයි. බැලූබැල්මට නම් පසුගිය වසරට වඩා මේ වසරේදී ඖෂධ සඳහා මුදල් වෙන් කර තිබුණද රෝගීන්ගේ වැඩිවීමට   සාපේක්ෂව එය ප්‍රමාණවත් නොවේ. මේ හේතුවෙන් ඖෂධ මිලදී ගැනීමේදී හිඟයක් ඇතිවේ.
ඒත් සමගම රට තුළ ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් නොමැති වීමද රෝහල්වල ඖෂධ හිඟය ඇතිවීමට ප්‍රධාන හේතුවක් වී තිබේ. රටට ගැළපෙන හොඳ ප්‍රාණවත් ඖෂධ ප්‍රතිපත්තියක් ගෙන ආ හැකි නම් ඖෂධ හිඟය විශාල වශයෙන් මග හැරෙනු ඇත. මහාචාර්ය සේනක බිබි‍ලේ මහතා ජාතික
ඖෂධ ප්‍රතිපත්තිය අදට කිසිසේත් ගැළපෙන්නක් නොවේ. ඒ ප්‍රතිපත්තියට අදට ගැළපෙන පරිදි සංශෝධන එකතුකර වඩාත් ශක්තිමත් ඖෂධ ප්‍රතිපත්තියක් සකසා ගත යුතුය.
එහෙත් කනගාටුවට කරුණවන්නේ වත්මන් රටට ගෙන ඒමට සූදානම් වන ජාතික ඖෂධ ප්‍රතිපත්තිය අංගවිකල ප්‍රතිපත්තියක් වීමයි. එය අප රටට කිසිසේත් නොගැළපෙන්නකි.
එහෙත් රෝගී ජනතාවට යහපතක් නැත. කෙසේවෙතත් මෙම යෝජිත ප්‍රතිපත්තිය නිසා බහුජාතික ඖෂධ සමාගම්වලට සුළු හෝ බලපෑමක් එල්ල වන බව වැටහෙන නිසාදෝ එය තවමත් ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රමුඛ බලධාරීන් අසමත්ව තිබේ.
රජය ගෙන ආ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව තුළදී අස්ථානගත වී තිබෙන බව සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය. මුල්පිටපත අස්ථානගත වී ඇතිනම් එහි දෙවන හෝ තෙවන පිටපත්වලට කුමක් සිදු වී ඇද්ද? අනික අද සෑම ලියවිල්ලක්ම පරිගණකගත කරමින් පවතී. ජාතික ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පතද එසේ පරිගණකගත කර නොමැති නම් එය මහත් විහිළුවකි. මෙවැනි විහිළු කතා කියමින් රටේ ජනතාව රවටමින් බහුජාතික ඖෂධ සමාගම් රැකගැනීමට රජය උත්සාහ දරන බව කාටනම් නොවැටහේවිද?
තවත් අතකින් පෙනෙනුයේ බහුජාතික ඖෂධ සමාගම් සෞඛ්‍ය අමාත්‍යංශයට, සෞඛ්‍ය බලධාරීන්ට හා සෞඛ්‍ය ඇමැතිවරයාට පමණක් නොව රටේ නීතිමය කටයුතු සිදු කරන නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට පවා බලපෑම් එල්ලකර ඇති බවකි.
රෝහල්වල ඖෂධ හිඟයට ජාතික ඖෂධ ප්‍රතිපත්තියෙන් එසේ බලපෑම් එල්ල වෙද්දී සෞඛ්‍ය අමාත්‍යංශය තුළ නිසි ක්‍රමවේදයක් නොමැති වීමද ඖෂධ හිඟයට සෘජුවම බලපා තිබේ.
රෝහල්වලට අවශ්‍ය ඖෂධ ලැයිස්තු කලට වේලාවට සකස් නොකිරීමද රෝග රටාවන්ට ගැළපෙන පරිදි හා රෝගීන්ගේ වැඩි වීමට සරිලන සේ ලැයිස්තු සකස් නොකිරීමද ඖෂධ හිඟයට විශාල බලපෑමක් එල්ල කරයි. ලබන වසරට අවශ්‍ය ඖෂධ සඳහා වූ ලැයිස්තුව මේ වසරේ දෙවන කාර්තුවේදී  සකස් කර අවසන් කළ යුතුය. එහෙත් දෙවන කාර්තුවේදී ඖෂධ ලැයිස්තුව සකස් කිරීම ප්‍රමාද වන්නේ සැලසුම් සහගත වැඩපිළිවෙළක් අමාත්‍යංශය තුළ ක්‍රියාත්මක නොවීම හේතුවෙනි.
මෙසේ ඖෂධ ලැයිස්තු ප්‍රමාද වීම තුළ ටෙන්ඩර් කැඳවීමද ප්‍රමාද වේ. ඒ හේතුවෙන් ඖෂධ මෙරටට වෙන්වීමට විශාල ප්‍රමාදයක් සිදුවීම හරහා රෝහල් තුළ උග්‍ර ඖෂධ හිඟයක් මතුවේ. තවද මෙසේ ප්‍රමාද වී ගෙන්වන ඖෂධ අතරද තත්ත්වයෙන් බාල ඒවාද නොතිබෙනවාම නොවේ.
තත්ත්වයෙන් බාල ඖෂධ බවට පරීක්ෂණ තුළින් තහවුරු වුවහොත් එම ඖෂධය රෝහල්වලට බෙදා හැරීම මුළු මනින්ම නතර කර ඒ වෙනුවට වෙනත්
ඖෂධ ඇනවුම් කරනු ලබයි. මේ සඳහා ගතවන කාලය තුළ රෝහල්වල යළිත් ඖෂධ හිඟයක් මතුවේ. ටෙන්ඩර් කැඳවා ඖෂධ ගෙන්වීමේදී ඇතිවන ප්‍රමාදයන්ට විසඳුමක් ලෙස මෙරට ඖෂධ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුය. ඒ සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ධාරිතාව වැඩිකර දිවයින පුරා රාජ්‍ය අනුග්‍රහය ලබාදෙමින් එවැනි ආයතන පවත්වාගෙන යා යුතු වුවද රජය කරනුයේ පෞද්ගලික අංශයේ නිෂ්පාදකයින්ට මෙරට ඖෂධ නිෂ්පාදනය කිරීමට අවස්ථාව ලබාදීමය. එම වැඩපිළිවෙළ යටතේද සිදුවන්නේ විදේශීය රටවලින් ඖෂධ ඇණවුම් කිරීම හා සමාන ක්‍රියාවලියකි. රජයට දැරීමට සිදුවන වියදම්ද එක හා සමානය.
මෙවැනි බරපතළ දුර්වලතා හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ විශේෂයෙන් රෝහල් තුළ හටගන්නා උග්‍ර ඖෂධ හිඟයට පිළියමක් සෙවිය යුත්තේ සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයටම නිසි ක්‍රමවේදයක් සකස් කිරීම හරහාය.

No comments:

Post a Comment