දුම්රිය අනතුර වැළකූ පාසල් සිසුවාට උපහාර
වටිනා ආකල්ප සහිත දරුවන් සමාජයට සම්පතක්
උපහාර ලැබීමට දෙමාපියන්
සමඟ
අනුරාධපුර දුම්රිය ස්ථානයට පැමිණි මොහොත
දුම්රිය සාමාන්‍යාධිකාරී බී. ඒ. පී. ආරියරත්න මහතා
පසිඳු ශිෂ්‍යයා සමඟ තොරතුරු කතා කළ මොහොත
විස්තර හා ඡායාරූප - අනුරාධපුර - සිරිල් බස්නායක
"මේ රටේ අනාගතය ගමන් කරන දිශානතිය තීරණය කරන්නට සංවේදී දූ දරුවන්ට විශාල හැකියාවක්
ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී බී. ඒ. පී. ආරියරත්න මහතා පෙරේදා (16 දා)
අනුරාධපුරයේදී පැවසීය.
ඛේදවාචකයක් වීමට තිබූ දුම්රිය අනතුරක්
වළක්වා ගත් ගල්ගමුව ඇහැටුවැව බණ්ඩාරනායක නවෝද්‍යා පාසලේ
පසිඳු දීප්ත ශිෂ්‍යයා ඇගයීමේ උළෙල අමතා සාමාන්‍යාධිකාරිවරයා
එසේ සඳහන් කළේය. මෙම චාම් උළෙල ඉතා වටිනා අවස්ථාවක් ලෙසින්
අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ සංවිධානය කර තිබිණි.
මෙම උත්සවයේදී පසිඳුට උපහාරය ලබාදෙන්නට එම විදුහලේ ආචාර්ය
මණ්ඩලයත්, පාසල් දරුවන් පිරිසත් සමඟ පසිඳුගේ දෙමාපියෝ ද එක්ව
සිටියහ.
දුම්රිය දෙපාර්තමේන්තුව මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර ශ්‍රී
ලංකා ඉංජිනේරු සංස්ථාව, පොස්පේට් ආයතනය ආදී ආයතන රැසක් ද
ඊට එක් විය.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා එම උත්සවයේදී වැඩිදුරටත් මෙසේ
සඳහන් කළේය.
පසිඳු පුතා මේ ලබන උපහාරය ඒ දරුවාටත්, දෙමාපියන්ටත්, පාසලටත්,
ඒ පළාතටත් විශාල කීර්තියක්. විනාඩි පහක් දහයක් තුළ තැනට
සුදුසු නුවණින් ක්‍රියාත්මකවීම නිසා විශාල ඛේදවාචකයක්
වළක්වන්නට හැකිවුණා.
අද මහ පාරේ මිනිහෙක් වැටිලා හිටියත් මිනිසුන් අහක බලාගෙන යන
කාලයක සැබවින්ම මෙය සමාජයට විශාල ආදර්ශයක්. මිනිස් ගුණ ධර්ම
ක්‍රමයෙන් පිරිහී යන සමාජයක මේ දරුවාගේ උතුම් ක්‍රියාව සැබවින්
අගය කළ යුතු කටයුත්තක්. ජනමාධ්‍ය තුළින් මේ දරුවාගේ ඇගයීම
ප්‍රචාරය වීම තවත් වටිනා සමාජ මෙහෙවරක්.
ඒ වගේම මේ දරුවා වටිනා ආකල්ප සහිත දරුවෙක්. මෙහෙම දරුවෝ
සමාජයට සම්පතක්, මේ දරුවාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දුම්රිය
දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන් කටයුතු කරනවා.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනෙවිරත්න මහතා - මෙය
ලොකු වීරකමක්. ශ්‍රී ලාංකීය ජාතියේ එවැනි වටිනා අවස්ථා
මෙවැනි සිදුවීම්වලින් වර්ණවත් වෙනවා.
අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතා -
බොහෝ පාසල් දරුවෝ විභාගවලින් ඉහළම ලකුණු ගන්නවා. සමහර පාසල්
දරුවෝ ජාත්‍යන්තරය ජයගන්නවා. ඒ තුළින් ඔවුන්ගේ පාසල් මෑණියන්ට
විශාල කීර්තියක් ලබාදෙනවා. තැනට සුදුසු නුවණින් ක්‍රියාත්මක
වී පසිඳු සිදුකළ මේ සමාජ මෙහෙවරෙනුත් ඔහුගේ පාසලට විශාල
කීර්තියක් ලබාදුන්නා.
පසිඳු දීප්ත ප්‍රනාන්දු ශිෂ්‍යයා - මම පාසල ඇරී බසයෙන් බැස
රේල් පාර දිගේ නිවසට එන විට රේල් පාරේ පීල්ලක් කැඩී වෙන්වී
තිබුණා. මම ගෙදරට ගිහිං ඉක්මනින් රතු ඉටි රෙද්දක් අරගෙන
ඇවිත් පීල්ල කැඩුණු තැනට ඉදිරියෙන් කොළඹ පැත්තට ඉදිරියට ගියා.
ඒ වන විට ධාවනය වූ කොළඹ සිට වවුනියාව දුම්රිය රතු කොඩිය වනලා
නවත්ත ගත්තා.
බණ්ඩාරනායක නවෝද්‍යා පාසලේ ආචාර්ය මණ්ඩලය ද උත්සවය ඇමතීය.
මෙම අවස්ථාවට පසිඳු ශිෂ්‍යයාගේ මව ලක්ෂ්මී බින්දුහේවා, පියා
සුමිත් චමින්ද ප්‍රනාන්දු, අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී
නාලක බණ්ඩාර, දුම්රිය ගමනාගමන අධිකාරි එල්. ඒ. ආර්. රත්නායක,
දිස්ත්‍රික් ඉංජිනේරු (උතුර) ඩී. ඩබ්ලිව්. එන්. අමරසේන,
ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති ඩී. එම්. ටී. බී. දිවාකර,
ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරි ඉඳිපොල, අනුරාධපුර දුම්රිය
ස්ථානාධිපති කරුණාරත්න යන මහතුන් ඇතුළු පිරිස එක්ව සිටියහ.
No comments:
Post a Comment