Wednesday, March 20, 2013

ඉන්දියාව දෙදරයි ලංකාව පුපුරයි

ඉන්දියාව දෙදරයි ලංකාව පුපුරයි


රෂිනි මෙන්ඩිස්

වන්දනාමාන කිරීම සඳහාත්, අධ්‍යාපන කටයුතු හා වෙළෙහෙළදාම් සඳහාත්, තමිල්නාඩු ප්‍රාන්තයට යන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු වන තෙක් තමිල්නාඩුවට යන ගමන් තාවකාලිකව නතර කිරීමට පියවර ගන්නා ලෙසට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඤාණසාර හිමියෝ ඉල්ලීමක් කරති.

ශ්‍රී ලංකාවේ භික්‍ෂුන් වහන්සේට, බෞද්ධයන්ට පහර දීමට ඉන්දියාවේ ඇතැම් අන්තවාදීන් කටයුතු කරනුයේ ලංකාව ඉන්දියාවේ කොලනියක් ලෙස සිතාගෙන දැයි ඤාණසාර හිමියෝ ප්‍රශ්න කරති.

ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් බව කී උන්වහන්සේ ශ්‍රී ලාංකිකයනට මෙසේ හිරිහැර කරන්නට ඔවුනට කිසිදු අයිතියක් නැතැයි පැවැසූහ. බෞද්ධ මන්දිරයේ ඊයේ (18දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඉහත අදහස් පළ කළ ඤාණසාර හිමියෝ, ජයලලිතා හා කරුණානිධි එක්ව ශ්‍රී ලංකාවට එරෙහිව කුමන්ත්‍රණයක යෙදී සිටින බවත්, ඉතාම සැලැසුම් සහගතව ජිනීවාවල මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාව පාගා දැමීමට ඔවුන් උත්සාහ කරන බවත්, ජිනීවාවලදී ඉන්දියාව ලෝකයේ අනුකම්පාව ලබා ගැනීමේ උත්සාහයක යෙදෙන බවත් පැවැසූහ.

ඉතාම සැලැසුම් සහගතව භික්ෂුන් වහන්සේට පහර දීම පිටුපස ඉන්දීය 'සන් ටී.වී.' හා තමිල්නාඩුවේ 'නූගත්' දේශපාලනඥයන් සිටින බව ඉතාමත් වගකීමෙන් පැවැසිය හැකි බවත්, පසුගිය දින දෙකෙහිම සිදුවූ පහරදීම්වලදී එම අවස්ථා වීඩියෝ ගත කිරීමට ඉභද TV නාළිකාවට හැකිවීම ඊට හොඳම නිදසුන බවත් ඤාණසාර හිමියෝ පැවැසූහ.

මෙම භික්‍ෂූන් වහන්සේට සිදු කළ පහර දීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් විරෝධය පළකරන බවත්, බුදුන් උපන් රටේ සංඝයා වහන්සේට සලකන්නේ මෙලෙස දැයි තමිල්නාඩු අන්තවාදීන්ගෙන් ප්‍රශ්න කරන බවත් ඤාණසාර හිමියෝ පැවැසූහ.

ලංකාවේ ආගමික හා ආර්ථික සංහිඳියාව ඉවසා දරා ගැනීමට නොහැකිව සිටින ඉන්දියාවේ ඇතැම් අන්තවාදී කණ්ඩායම් වන ‘TNGA’ සංවිධානය හා ලංකාවේ ‘SLTJ’  සංවිධානය එක්ව ලංකාව තුළ බෞද්ධ හා අන්‍යාගමිකයන් අතර ගැටුමක් ඇති කිරීමට කුරුමානම් අල්ලන බවත් ඒ හිමියෝ පෙන්වා දුන්හ.
මෙරට සමාජය තුළ පවතින මුස්ලිම් අන්තවාදය පිළිබඳ තම සංවිධානය කරුණු හෙළි කළද, මෙරට කිසිදු සිංහල බෞද්ධයකු විසින් මුස්ලිම් ජාතිකයකුට නියපිටින් හානියක් නොකළ බවද ඒ හිමියෝ පැවැසූහ.

මෙරට ඇතැම් මුස්ලිම් නායකයන් මෙන්ම සමහර දේශපාලනඥයන්ද 'හලාල්' ගැටලුව මුල් කර ගනිමින් සිංහල බෞද්ධයන් ලවා මුස්ලි ජාතිකයනට හිරිහැරයක් කරවා ගැනීමට දැඩි උත්සාහයක යෙදුණු නමුත් මෙරට සිංහල බෞද්ධයන් ඒ උගුලේ නොවැටුණු බව ඤාණසාර හිමියෝ පැවැසූහ.

ආගමික නායකයන්ට අද ඉන්දියානුවන් අත තබා ඇති බවත්, මෙය වහාම නැවැත්වීමට ක්‍රියා කළ යුතු බවත් වගකීමක් නැති අවස්ථාවාදී නූගතුන් ලවා ලංකාවේ යම් යම් සංවිධාන පිහිටුවා ඉන්දියාවට අවශ්‍ය දේ කර ගැනීමට උත්සාහ කරන බවත් ඒ හිමියෝ පැවැසූහ.

පසුගිය දිනෙක සුරාබදු වැටලීම් අංශ මඟින් අත්අඩංගුවට ගත් 'එතනෝල්' තොගය සම්බන්ධයෙන් මාධ්‍ය වේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඤාණසාර හිමියන් පැවැසුවේ තමන් ඇතුළු බොදු බල සේනා සංවිධානය තවමත් ඒ පිළිබඳව තොරතුරු සොයමින් සිටින බවත්, ආණ්ඩුවේ කිසියම් දේශපාලනඥයකු ඊට සම්බන්ධ නම්, ඒ පුද්ගලයා ගෙදර යැවීමට තම සංවිධානය සටන් කරන බවත් 'මතට තිත' කියා ආණ්ඩුවේ පව්කාරයකු මේ වස තොගය රටට ගෙනාවනම් ඔහුට පාර්ලිමේන්තුවේ ‍ෙදාරටු වසා දැමීමට තමන් පාරට බහින බවත්, මේ සිද්ධියට දේශපාලනඥයන් දෙතුන් දෙනකුම ගෑවී සිටින නමුත් සත්‍ය තොරතුරු ලැබුණු සැණින් බොදු බල සේනා සංවිධානය ඔහු පිළිබඳ හෙළිදරව් කරන බවත් ඤාණසාර හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.

No comments:

Post a Comment