Sunday, March 17, 2013

different opinion or consumption of food

බටහිර වෛද්‍ය විද්‍යාවට අනූව ආහාරවල
සීතල - උෂ්ණ කියල භේදයක්‌ නෑ!
-
ආචාර්ය ආනන්ද චන්ද්‍රසේකර

සමහර ආහාර සමහරුන්ට විෂයි. සමහරුන්ට අසාත්මිකයි. සමහරුන්ට අපත්‍යයි... ඒක ඒ ඒ ඇඟවල්වල රසායනික ක්‍රියාකාරීත්වය අනුව වෙන දෙයක්‌ විතරයි.

ශ්‍රී ලාංකිකයන් වන අපි ආහාර ගැනීමේදී අනුගමනය කරන ආහාර පුරුදු, විශ්වාස හා මත විවිධය. ඒ හැම එකක්‌ම එක්‌කෝ අත්දැකීම් මත පදනම් වූ ඒවාය. එක්‌කෝ විශ්වාසය මත පදනම් වූ ඒවාය. එහෙමත් නැත්නම් අපේ චිරන්තන සම්ප්‍රදායානුකූල ගති සිරිත් හෝ විවිධ වෛද්‍ය ගුරුකුල මත පදනම් වූ ඒවාය.

ඒ අනුව අපි සමහර ගුණාත්මක හෝ ඉහළ මාංශ ජනක ආහාර ගණනාවක්‌ම "උෂ්ණ ආහාර" ලෙස සලකා ප්‍රතික්‍ෂේප කරන්නට පුරුදුව සිටිමු. ඒ අයුරින්ම තවත් ආහාර වට්‌ටෝරුවක්‌ ශීතල ආහාර ලෙස පිටු දකින්නටත් අපි සූදානම්ය. තවත් සමහර ඒවා "විෂ" සහිත බව කියමින් ගන්නේ නැත. තවත් ජාති කිහිපයක්‌ නොකන්නේ "සෙම බහුල" යෑයි කියාය. ඔය අතර පිළිකා කාරක යෑයි කියමින් අහලකට වත් නොගන්නා ආහාර වර්ග ද කිහිපයකි.

සැබැවින්ම මේ මතවාදවලට හා විශ්වාසවලට පදනමක්‌ තිබේද? අද අපි ආචාර්ය ආනන්ද චන්ද්‍රසේකර සමග කතාබහ කරන්නේ අපේ ආහාර රටාව හා ආහාර පුරුදු තුළ ගැබ්ව ඇති මේ විශ්වාස හා මතවාදවලට විද්‍යාත්මක පදනමක්‌ තිබේද යන කාරණයයි.

මේ ගැන කතා කරනකොට අපිට සමාජ, ආර්ථික, සංස්‌කෘතික හා දේශපාලනමය කරුණු ගණනාවක්‌ අපේ ආහාර රටාවන් හැඩ ගස්‌වන්න හේතු වෙනවා. සමහර ආහාර වර්ග අපිට ගන්නත් නොගන්නත් මේ හේතු වැදගත් වෙන බව ඇත්ත වගේම... ආර්ථිකය කියන එක හරි වැදගත්. සමහරුන්ට සමහර ආහාර වර්ග ගන්න බැරි, මිල අධික නිසා... ඒ වගේම තමයි සංස්‌කෘතික හේතු. ආගම හෝ විශ්වාස මත පදනම් වෙලත් සමහර අය මස්‌ මාංශ ගන්නේ නැහැනේ. ඔන්න ඔය සාධක අපිට වෙනස්‌ කරන්න බැහැ. ආහාරවලට තමන්ගේ සමාජ තත්ත්වය, ආර්ථික හැකියාව, ආගම, විශ්වාස, පන්ති පසුබිම, දේශපාලන පසුබිම ආදියත් බලපානවා. ඒත් අපි අද කතාබහ කරන්නේ ඒ එකක්‌වත් ගැන නොවෙයි. ආහාර ගැන අපේ සමාජයේ තිබෙන වැරදි ආකල්ප, මතවාද හා විශ්වාසයන් ගැන ටිකක්‌ කතා කරන්නයි අපි අද උත්සාහ දරන්නේ.

මම මේ සංවාදයට එළැඹෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව මත පදනම් වුණ විද්‍යාත්මක හා පර්යේෂණාත්මක පදනමක ඉඳගෙන. පළමුවෙන්ම කිව යුතුයි මේ තුළින් මම කිසිවිටෙකත් ආයුර්වේදයේ හෝ වෙනත් දේශීය වෛද්‍ය විද්‍යාවක උගන්වන විශ්වාසයක්‌ හෝ මතවාදයක්‌ ගැන කතා කරන්නේ නැති බව. මොකද, ඒ පිළිබඳ මට දැනුමක්‌ නැහැ. මම කතා කරන්නේ අපේ බටහිර වෛද්‍ය විද්‍යාව හෝ විද්‍යාත්මක මතවාද මත පදනම් වුණ පෝෂණ විද්‍යාව මත ඉඳගෙන විතරයි.

ඒ මතවාදවලට අනුව යමෙකුට සමහර ආහාර ගන්න බැරි අවස්‌ථා 3 ක්‌ අපට හමුවෙනවා. ඒ තමයි,

1.
ආහාර විෂ වීම (Food poisoning)

2.
ආහාර අසාත්මිකතාව (Food allergy)

3.
ආහාර අපත්‍යවීම හෝ අසහනය (food intolerance)

සමහර අය තුළ විවිධ මත තියනවා ආහාර ගැන. අපි අහල තියෙනවානේ සමහරු බල මාළු කන්න එපා කියනවා උෂ්ණයි කියලා. දැල්ලෝ හා ඉස්‌සෝ ගැනත් සමහරු කියන්නේ කන්න එපා හරි උෂ්ණයි කියලයි. ඒ වගේම සමහර දරුවන්ට අම්මලා තාත්තලා එළකිරි බොන්න දෙන්නේ නැහැ ශීතලයි කියලා. ඇඹුල් කෙසෙල් කෑවාම සෙම හැදෙනවා කියනවා. කොළකැඳ ශීතලයි කියල සමහර අයට දෙන්නේම නැහැ. තක්‌කාලි කන්න එපා කියනවා උෂ්ණයි කියලා. එක්‌කෝ ඇසිඩ් කියනවා. අපි අද සලකා බලන්නේ මෙන්න මේවා ගැන. ඒත් එක්‌කම මුදවපු කිරි කෑවාම බඩේ අමාරු හැදෙනවා කියලත් කියනවානේ. පාන් පිටි බහුලව කෑවම බඩ දනවානේ සමහරුන්ට.

අපි කතා කරමු ඇත්තටම ඇයි මේවා මෙහෙම වෙන්නේ කියලා. බලමු මේවා මෙහෙම වෙන්න පුළුවන්ද කියලා. මේවා ඇත්තද... මේවා බොරු ද... පදනමක්‌ තියනවද... අපි කතා කරමු.

මේ ඔක්‌කොම ගත්තාම විශ්වාස. හැබැයි අපි ඉහත කියපු කාරණා තුන ඇතුළේ මේ ඕනම විශ්වාසයක්‌ ගැන හොඳ විද්‍යාත්මක පදනමක ඉඳල කතා කරන්න පුළුවන්. දැන් අපි ඒ තුළින් මෙතෙක්‌ කලක්‌ අපි තුළ ආහාර වර්ග ගැන තිබිච්ච වැරදි ආකල්ප හා සැක සංකා දුරු කරගන්න උත්සාහ කරමු.

අපි පළමුව බලමු කොහොමද ආහාර විෂ වන්නේ කියලා. යම් ආහාරයක්‌ විශේෂයෙන්ම මස්‌, මාළු, බිත්තර වර්ගයක්‌ ඊට අදාළ හෝ ආවේණික නියමිත කාලය ඉකුත් වුණාට හෝ නිසි ආරක්‍ෂණ ක්‍රමවේදයකට ඇතුළත් නොවුණාම හෝ කල්තබා ගැනීමේ ක්‍රමවේදවල අඩුපාඩු වුණාම විවිධ අහිතකර බැක්‌ටීරියා හා දිලීරවල බලපෑමට එය නතු විය හැකියි. එබඳු පිටස්‌තර විෂකට බැක්‌ටීරියාවකට දිලීරයකට විවෘත වුණ ආහාරයක්‌ ගත්තාම එය ශරීරයට අහිතකර බලපෑම් ඇති කරනවා. සමහරුන්ට වමනය යනවා. සමහරුන්ට බඩඑළිය යනවා නොනවත්වාම. එය ඒ රෝගියාගේ ඇඟේ ශක්‌තිය හා ප්‍රතිශක්‌තිය අනුව වෙනස්‌ විය හැකියි. මෙය අපි ආහාර විෂවීම හැටියටයි සලකන්නේ.

ආහාර අසාත්මිකතාව (Food allergy) කියන්නේ ආහාරවල තිබෙන යම් යම් රසායනික සංයෝග අපේ සමහර අයගේ ශරීරයේ තිබෙන රසායනික සංයුතිය සමග ප්‍රතික්‍රියා නොකරන විට ඇතිවන තත්ත්වයක්‌. විශේෂයෙන්ම සමහර ප්‍රොaටීන් වර්ග තිබෙනවා සමහර ශරීරවලට පමණක්‌ ඔරොත්තු නොදෙන. එහෙම ශරීරවලට එක එක අසහනයන් ඇති වෙනවා. සමහරුන්ට හිස කකියනවා. සමහරුන්ට වමනය යනවා. සමහර අයට ඇඟ කසල පලු දානවා. තව සමහර අයට ඇදුම වගේ හුස්‌ම ගැනීමේ අපහසුතා ඇති වෙනවා. කලාතුරකින් සමහරු හුස්‌ම ගැනීම අපහසු වී මරණයට පවා පත්වන අවස්‌ථා තියනවා. සමහර අය "කරප්පන්" කියල කියනවා. එබඳු ආහාර හඳුනාගෙන නොකා ඉන්න එක තමයි හොඳ. පිටින් එන බාහිර දේවල්වලින් ශරීරය ආරක්‍ෂා කරන්න ශරීරය තුළ හැදිල තියන රසායනික ආරක්‍ෂණ පද්ධතියක්‌ නිසා තමයි එහෙම වෙන්නේ. හරියට කොම්පියුටරයක වෛරස්‌ ගාඩ් එකක්‌ වගේ.

තුන්වන එක තමයි වැඩියම දක්‌නට ලැබෙන්නේ. ආහාර අසහනය. ආහාර අපත්‍යවීම කියල කිව්වාම පැහැදිලියි (Food intolerance). මෙතනදී වෙන්නේ සමහරක්‌ ආහාර වර්ගවල තිබෙන රසායනික කොටස්‌ ශරීරය තුළදී පරිවෘත්තීය ක්‍රියාවලියට අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය එම ශරීරයේ නොමැති නම් එම ආහාර ප්‍රතික්‍ෂේප කිරීමයි. ශරීරය එතනදී සංවේදී වනවා. එවිට විවිධ රෝග තත්ත්වයන් ඇති වනවා. පාන් පිටි වල තිබෙන ග්ලූටන් කියන රසායනිකය ශරීරයේ නැති වුණාම බඩේ ගෑස්‌ පිරෙනවා. බඩ දනවා. බඩඑළිය යනවා. විවිධ සංකූලතා ඇති වෙනවා. කිරිවල ලැක්‌ටෝස්‌  කියන සීනි නිසාත් සමහර ශරීරවලට මේ සංකූලතාව ඇති වෙනවා.

කිරි බොන විට සමහර අයට බඩ පුරවල දානවා. සමහරුන්ට බඩඑළිය යනවා. ඒකට හේතුව කිරි ශීතල නිසා නොවෙයි. කිරිවල තියන ලැක්‌ටෝස්‌ දිරවන්න අවශ්‍ය රසායනික සංයෝගය ඇඟේ නැති නිසයි.

සමහරු කියනවා කිරි හොඳ නැහැ කිරිවල සෙම කියලා. මේකත් මිථ්‍යාවක්‌. සමහර අයට කිරි බිව්වාම උගුරෙ සෙම ගතියක්‌ ඇති වෙන්නේ අසාත්මිකතාව නිසා. නැත්නම් ආහාර අසහනය නිසා. හැමෝටම තියන තත්ත්වයක්‌ කියල ගන්න හොඳ නැහැ. එක එක ශරීරවල ඔරොත්තු දීමේ හැකියාව එක එක ආහාරවලට වෙනස්‌ නේ.

මෙන්න මේ තත්ත්වයන් තුන මත තමයි ආහාරයක්‌ ඇඟකට ඔරොත්තු නොදෙන්නේ, ආහාරයක්‌ ඇඟකින් ප්‍රතික්‍ෂේප වන්නේ. හැබැයි හැමෝටම මේ තත්ත්වය තියනවා කියල හිතන්න නරකයි.

දැන් ඇඹුල් කෙසෙල් වුණත් සමහර අයට සෙම වගේ එන්නේ එය ජීර්ණය කිරීමේදී ඇඟ තුළ ඇතිවන අසාත්මිකතාවක්‌ නිසයි.

සමහර අය කියනවානේ ඉස්‌සෝ, දැල්ලෝ, බලමාළු උෂ්ණයි කියලා. ඒ උෂ්ණ වන්නේ ඒවායේ තියෙන ප්‍රොaටීන් ශක්‌තිය ඉහළ නිසා ශරීරයේ ඇතිවන ප්‍රතික්‍රියාව නිසායි.

සමහර වේලාවට මාළු, ඉස්‌සෝ, දැල්ලෝ වගේ කෑමවල තිබෙන ප්‍රොaටීනවල ක්‍ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය හරි ඉහළයි. මේ ඉහළ බව නිසා හිස්‌ටමින් කියන  රසායනික සංයෝගයක්‌ ඇති වෙන්න පුළුවන්. එය සමහර ශරීරවලට විෂයි. හිස්‌ටමින් වැඩි වුණොත් ඇඟ කසන, පලු දමන, කබ ගලන, දහඩිය දමන, ඇඟ රත් කරන ගතිය වැඩියි. සමහර දකුණේ අය බල මාළු කනකොට, ඉස්‌සෝ දැල්ලෝ කනකොට පොල් ගාලා අරන් ඒවත් එක්‌ක කනවා. ඒ තුළින් මේ රසායනික ක්‍රියාකාරීත්වය අඩු කරනවා කියල කියනවා.

අලුත් මාළුවල හිස්‌ටමින් අඩුයි. මාළු පරණ වන විට හිස්‌ටමින් ක්‍රියාකාරීත්වය වැඩියි. දකුණේ ඇඹුල්තියල්වල හිස්‌ටමින් ක්‍රියාකාරීත්වය නසන ප්‍රතික්‍රියාවක්‌ ඇඹුල්තියල් මිශ්‍රණය තුළ තිබෙනවා.

කැඳ වර්ග ශීතලයි, සෙම තියෙනවා කියල කියන්නේත්, කෙසෙල් ගෙඩි වර්ග ශීතලයි කියල කියන්නේත් බොරුවක්‌. මේක තියෙන්නේ සමහර ශරීරවලට විතරයි. ඕනම ශරීරයක තියෙනවා ආරක්‍ෂක පද්ධතියක්‌. අලුත් ආහාර වර්ග ශරීරයට ගන්න කොට ඒ ආරක්‍ෂක පද්ධතිය විසින් චෙක්‌ කරනවා මෙය ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලියට ගැලපෙනව ද නැද්ද කියලා. එම ආහාර ජීර්ණයට අවශ්‍ය රසායන ද්‍රව්‍ය නැත්නම් ඔන්න යම් යම් ප්‍රශ්න ඇති කරනවා. හරියට වෛරස්‌ ගාඩ් එකක්‌ කම්පියුටරයක ක්‍රියා කරනවා වගේ දෙයක්‌ තමයි මේ. මේක හැම ශරීරයකටම පොදු දෙයක්‌ නොවෙයි.

ආහාරවල ශීතලයි කියල දෙයක්‌ හෝ උෂ්ණයි කියල දෙයක්‌ බටහිර වෛද්‍ය විද්‍යාව අනුව නැහැ. හැබැයි සමහර අයට අසාත්මිකතා තියනවා කියල විතරක්‌ තේරුම් ගත්තාම ඇති.

ඒත් එක්‌කම ආහාර ගන්න කොට ගෙදර හැමෝම එකට එක්‌වෙලා ආහාර ගැනීම හරිම වැදගත්. ටී.වී. බල බලා කෑම කන එක නරක ආහාර පුරුද්දක්‌.

මොකද මිනිස්‌සු සතුටු වන ක්‍රම තියෙනවා. ටී.වී. වල නාට්‍ය නිසාත් මිනිස්‌සු සතුටු වෙනවා. ආහාර ගන්න කොටත් මිනිස්‌සු සතුටට පත්වෙනවා. ටී.වී.වල නාට්‍ය බල බල කෑම කනකොට සතුටට පත් වන්නේ කෑම නිසා ද, ටී.වී. එක නිසා ද කියලා තේරුම් ගන්න මොළයට බැරි වෙනවා. වැරදි සංඥවක්‌ ගියොත් ආහාර නිසා සතුටට පත්වෙනවා කියලා මිනිස්‌සු ආහාර ගන්න තරම වැඩි කරනවා. ඒක නරක පුරුද්දක්‌.

ටී.වී. බල බලා කෑම කන්නේ නැතුව ගෙදර ඔක්‌කොම එකට කෑම මේසෙ කෑම කනවා නම් සෞඛ්‍යයටත් හොඳයි. නිවසේ සාමයටත් හොඳයි.

anandachandrasekara@gmail.com
සාකච්ඡා කළේ- බුලිත ප්‍රදීප් කුමාර

No comments:

Post a Comment