Friday, March 22, 2013


වකුගඩු රෝගය මඩින බවට සුව ඇමතිගෙන් සහතියක්March 22, 2013  
රජරටට පමණක් සීමාවී තිබූ වකුගඩු රෝගය දිවයින පුරා පැතිරයාමේ අවධානමක් පවතින බැවින්, එම ව්‍යවසනය මැඩීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සහතික වන්නේ යයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද (22) කෑගල්ල නගර සභා ශාලාවේ පැවති 2013 ලෝක ක්ෂය රෝග මර්ධන ජාතික වැඩසටහන අමතමින් ඔහු එසේ සඳහන් කළේය.

රජරටට සීමාව පැවති වකුගඩු රෝගය රට පුරා ව්‍යාප්ත වන බවට සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දී ඇතැයි කී ඇමතිවරයා වකුගඩු රෝගය මැඩලීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදුන් අවසන් වාර්තාව ක්‍රියාත්මක කරන බවට සහතික විය.

ඊට අදාළ තොරතුරු ඊයේ (21) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව කී ඔහු අමාත්‍යාංශ රැසක නියෝජනයෙන් යුත් උප කමිටු හරහා නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ අවස්ථා සොයා බලන බවද කීය.

රජය මේ වසරට නිදහස් සෞඛ්‍ය සඳහා රුපියල් බිලියන 125 ක් වැය කරයි.

රජයේ රෝහලක නේවාසික රෝගියකු එක් දිනක් නඩත්තු කිරීමට රුපියල් 2000 ත් 10000ත් අතර මුදලක් වැය කරන අතර එක් පිළිකා රෝගියකු සඳහා රුපියල් ලක්ෂ 150 පමණ මුදලක් රජය වැය කරයි.

එහෙත් නිදහස් සෞඛ්‍ය යටතේ රජය වැය කරන මෙම දැවැන්ත මුදල රෝගියා හෝ රටේ බහුතරය නොදන්නා බව අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ක්ෂය රෝගය ඇතුළුව වසංගත රෝග රැසකට අදාළව ශ්‍රී ලංකාව ලෝක දර්ශකයන්ට අනුව ජයග්‍රහණ රැසක් අත් පත් කරගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එහෙත් වත්මන් වාණිජ ආර්ථිකය තුළ මෙරටට පැමිණෙන විවිධ සංක්‍රමණිකයන් හරහා ක්ෂය රෝගය ඇතුළු බෝවන රෝග වර්ධනය වීමේ අවධානමක් මතුව ඇතැයිද ඇමතිවරයා කීය.

මේ අතර රැස්වීම ආරම්භ කිරීමට පෙර පැවති පා ගමනට අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, සබරගමුව මහ ඇමති මහීපාල හේරත්, සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති ලලිත් දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

No comments:

Post a Comment