Wednesday, May 1, 2013

Wednesday, 01 May 2013 08:21

රෝහල් සේවකයින් එන්නත් කිරීමේ සුදානමක්

AddThis Social Bookmark Button
ඉන්ෆ්ලුවන්සා හෙවත් සූකර උණ (A H 1 N 1) රෝගය රට පුරා පැතිර යැමේ අවදානමක්‌ මතුව ඇති නිසා සියලු රෝහල් සේවකයන්ට ඉන්ෆ්ලුවන්සා එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙම උණ රෝගය වැළඳුණු රෝගීන් මේ දිනවල දිවයිනේ රෝහල් රැසකට ප්‍රතිකාර සඳහා පැමිණෙන නිසා රෝහල් කාර්ය මණ්‌ඩලයට ඉන්ෆ්ලුවන්සා වෛරසය ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවක්‌ ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක්‌ පවසා තිබේ.
සෘතුමය උණ රෝගයක්‌ වන ඉන්ෆ්ලුවන්සා (AH1N1) රෝගයට විශේෂයෙන් ගැබිනි මව්වරුන්, කුඩා දරුවන්, වයස අවුරුදු හැටට ඉහළ වැඩිහිටියන් සහ විවිධ කායික රෝගවලින් පෙළෙන්නන් ගොදුරු වන බව ද මෙම වෛරසය ආසාදනය වූ විට බරපතළ සංකූලතාවන්ට ලක්‌වන බව ද ඉහත ප්‍රකාශකයා කීය.
කැස්‌ස සමඟ උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව ඇත්නම් වහා රෝහලකින් ප්‍රතිකාර ලබාගත යුතු බව ද නිවසින් පිටතට ගොස්‌ පැමිණි වහා දෑත් හොඳින් සෝදා පිරිසිදු කර ගැනීම මෙම රෝගයෙන් වැළකීම සඳහා ආරක්‍ෂිත පියවරක්‌ යෑයි ද හෙතෙම කීය.
කිවිසුම් මගින් සහ කතා කරද්දී කෙළ බිඳිති මාර්ගයෙන් පුද්ගලයකුගෙන් පුද්ගලයකුට පහසුවෙන් මෙම ඉන්ෆ්ලුවන්සා වෛරසය පැතිර යා හැකි බව ද කී හෙතෙම කිවිසුම් යැමේදී සහ කැස්‌ස ඇතිවන අවස්‌ථාවන්හි ද ඉවතලන කඩදාසි ලේන්සු (ටිෂූ පේපර්) භාවිත කිරීම යෝග්‍ය බව ද කීය.
ජනයා බහුලව ගැවසෙන ස්‌ථානවල සිටින අය මුහුණු ආවරණ පැළඳීම ද මෙම වෛරසයෙන් ආරක්‍ෂාවීම සඳහා සුදුසු බව කී හෙතෙම ඉන්ෆ්ලුවන්සා රෝගීන්ට හිඟයකින් තොරව ඖෂධ සැපයීමට සෞඛ්‍ය කාර්ය මණ්‌ඩලයට විශේෂ පුහුණුවක්‌ ලබාදීමට මෙන්ම ඔවුන්ට ඉන්ෆ්ලුවන්සා එන්නත ලබාදීම සඳහා ද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් සෑම රෝහලකටම චක්‍රලේඛයක්‌ නිකුත් කළ බව ද කීවේය.
divaina

No comments:

Post a Comment