ලැජ්ජා විය යුතුද? දුක් විය යුතුද? |
දරු ප්‍රසූතියට රෝහලට ඇතුළු වන මවුවරු අති
බහුතරය දරුවන් මෙලොව එළිය දුටු පසු සුවසේ නිවෙස බලා යති. අතීතයේදී නම්
ප්‍රසූතිය නිවෙසේදීම සිදු වූ අතර මවගේ මෙන්ම දරුවාගේ ජීවිතයද සුරක්ෂිත වූයේ
නැත. එක් අයකුගේ හෝ දෙදෙනාගේම හෝ ජීවිත අහිමි වන අවස්ථා එමටය. මෙකල මෙන්
නොව එකල වෛද්‍ය පහසුකම් නොමැති වීම ඊට හේතු විය. එහෙත් මෙතරම් වෛද්‍ය
පහසුකම් ඇති වර්තමානයේ දරු ප්‍රසූතියට රෝහලක් නැතිකමින් ගැබිනි මවක හා
නූපන් දරුවා මරණයට පත්වේ නම් එය බරපතළ ඛේදවාචකයකි. මිහින්තලේ මහවාහල්කඩ ගොවි ජනපදයේ විසිහතර හැවිරිදි ගැබිනි මවක ඇගේ කුලුඳුල් දරුවා බිහි කිරීම සඳහා ඇතුළු වීමට ළඟපාතක රෝහලක් නොමැති වීම හේතුවෙන් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දී තිබෙන බව ඊයේ දිනපතා 'මව්බිම' මුල්් පුවතින් කියැවිණි. මහවාහල්කඩ ග්‍රාමීය රෝහලක් තිබුණද, එහි නේවාසික වෛද්‍යවරයකු නැති අතර මාතෘ නිවාසයද වසා දමා තිබීම හේතුවෙන් කිලෝමීටර් තිස් දෙකක් මඟ ගෙවා පදවිය රෝහලට හෝ කැබිතිගොල්ලෑව රෝහලට යෑමට ගැබිනි මවුවරුන්ට සිදුවී ඇති බව එකී මුල් පුවතේ සඳහන් විය. හදිස්සියේ රෝගාතුර වූ ගැබිනි මව ත්‍රිරෝද රියක නංවාගෙන අබලන් වූ වාහල්කඩ මාර්ගයේ පදවිය රෝහල කරා රැගෙන යෑමට පැය එකහමාරක කාලයක් ගතවී තිබේ. මහවාහල්කඩ රෝහලේ වෛද්‍යවරයකු සිටියා නම් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත නොවන බව පැහැදිලිය. වාහල්කඩ රෝහලට වෛද්‍යවරයකු නැති පුවත 'වෛද්‍යවරයෙක් නැතිව රෝහලක් වැහෙන ලකුණු' හිසින් පළ වී තිබුණේ ඉකුත් 26දා දිනපතා 'මව්බිම' රජරට අතිරේකයේය. රෝහලට වෛද්‍යවරයකු ඉල්ලා සිටියද උතුරුමැද පළාත් සභාවෙන් ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බව ප්‍රදේශය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රිවරයා 'මව්බිම'ට ප්‍රකාශ කර තිබිණි. උතුරු මැද පළාත් බලධාරීන්ගේ නොසැලකිලිමත්කම මේ මවගේ හා දරුවාගේ මරණයට හේතුවී ඇති බව මින් පැහැදිලි වේ. උතුරු මැද පමණක් නොව රටේම තත්ත්වය මෙබඳුය. සෞඛ්‍ය අංශයේ පමණක් නොව රාජ්‍ය අංශයේ ආයතනවල බොහෝ විට ඇත්තේ අකාර්යක්ෂම දූෂිත පාලනයකි. මහජන සුබසාධනය ගැන ඔවුහු තුට්ටුවකටවත් මායිම් නොකරති. "මාගේ ජනතාවට ලබාදිය හැකි පරම ලාභය බුදු වදනින් පසක් කළ ආකාරයට 'ආරෝග්‍ය පරමා ලාභා' බුද්ධ වචනය තේමා කොට ගනිමින් ශ්‍රී ලංකා ප්‍රජාවට නිරෝගී දිවි පෙවෙතකට ඇති මාර්ගය විවර කර දීමට කටයුතු කරමි" යැයි අවධාරණය කෙරුණු "මහින්ද චින්තන" ප්‍රතිපත්ති ප්‍රකාශයේ "කොළඹට පමණක් සීමා වී ඇති විශේෂඥ රෝහල් රට පුරා ඇරැඹීම, විශේෂ වෛද්‍ය සේවය ලංකාව පුරා පිහිටි මාතෘ නිවාස, ග්‍රාමීය රෝහල්, පර්යේෂණ ඒකක සහ දිසා රෝහල් දක්වා ගෙන යෑමට ඇති බාධක හඳුනාගෙන ඒවා අවම කිරීමට හැකි ප්‍රායෝගික යාන්ත්‍රණයක් සැකැසීමට කටයුතු කිරීමට"ද පොරොන්දු වී තිබිණි. කෙසේ වුවද මේ වන විට රටේ සෞඛ්‍ය සේවාව වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලවල හිඟය, ඔෟෂධ හිඟය හා උපකරණ හිඟය යන කාරණා හේතුවෙන් අර්බුදයට ලක්වී ඇත. ඊට අකාර්යක්ෂමතාව හා නොසැලකිල්ල යන කාරණා දෙකද එක් වූ විට අර්බුදය තවත් උග්‍ර වන බව නොකිවමනාය. මහින්ද චින්තනයට අනුව මහජනතාවට සේවය කිරීමට ප්‍රතිඥා දී ඇති ආණ්ඩුවේ සාමාජිකයන්ගේ පරම වගකීම වන්නේ රාජ්‍ය සේවකයන් ඒ සඳහා මෙහෙයවීමය. එහෙත් මහවාහල්කඩින් වාර්තා වූ ඛේදවාචකය වැනි සිද්ධීන්වලින් එවැනි මෙහෙයවීමක් සිදුවේ දැයි යන සැකය මතුවේ. |
Wednesday, May 1, 2013
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment