Saturday, May 11, 2013


කුමන තර්ජන ආවත් ජාතික ඖෂධ
ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම්,
සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හඳුන්වාදීමට කටයුතු කළ මහාචාර්ය සේනක බිබිලේ මහතාට අත්වූ හදිසි මරණය ඖෂධ ජාවාරම්කරුවන්ගේ සැලසුමක ප්‍රතිඵලයක්‌ බව බොහෝ පාර්ශ්වයන්ගේ විශ්වාසය වී තිබේ. සේනක බිබිලේ මහතා හඳුන්වා දුන් ඖෂධ ප්‍රතිපත්තිය යළිත් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන වත්මන් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා ද පසුගිය දිනවලදී කිහිප අවස්‌ථාවකදීම කුමන තර්ජන එල්ල වුවත් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කර තිබිණි. සෞඛ්‍ය අමාත්‍යවරයා කර තිබූ එම ප්‍රකාශයන් පිළිබඳව අප වැඩිදුරටත් විමසා සිටි අතර, අමාත්‍යවරයා ඒ පිළිබඳව දැක්‌වූ අදහස්‌ පහත පරිදි වේ.

ප්‍රශ්නය - ජාතික ඖෂධ ප්‍රතිපත්තියක්‌ හඳුන්වාදීමට කටයුතු කිරීම, ඔබ වෙත මරණීය තර්ජන එල්ලවීමට හේතු වී ඇති බව, ඔබ කිහිප අවස්‌ථාවකදීම ප්‍රකාශ කළා. කුමන පාර්ශ්වයකින් ද මෙම මරණීය තර්ජන එල්ලවන්නේ?

පිළිතුර - 2011 වසරේ දී හදපු ඖෂධ ප්‍රතිපත්තියට අදාළ පනත අතුරුදන් වීම පිළිබඳ මම පාර්ලිමේන්තුවේදීත් ප්‍රකාශ කරල තිබෙනවා. ඒ පිළිබඳ මාධ්‍ය වලටත්. මම කිහිප අවස්‌ථාවකදීම ප්‍රකාශ කරල තිබෙනවා. කෙසේ වුවත් එම පනතේ කටයුතු අපි යළිත් ආරම්භ කරල තියෙනවා.

අද තිබෙන බරපතළම ප්‍රශ්නයක්‌ තමයි ඇතැම් ජාවාරම්කාර ඖෂධ සමාගම් ඖෂධ සැපයීමේදී කරනු ලබන අක්‍රමිකතා. ඇතැම් ඖෂධ සමාගම් රෝගීන්ට අවශ්‍ය හදිසි ඖෂධ ඇනවුම් කිරීමේදී සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටිය කුළදී අයකරනු ලබන මිලට වඩා 10 හා 11 ගුණයකින් අයකරනු ලබනවා. මෙහි දී කෙනෙකුට අහන්න පුළුවන් ඇයි මේවා මිල දී ගන්නේ කියලා. බොහෝ අවස්‌ථාවල දී හදිසි ඖෂධ මිලදී ගැනීමක දී ඉදිරිපත් වන්නේ එක්‌ සමාගමක්‌ පමණයි. ඖෂධ සමාගම් සාකච්ඡා කරල එකඟතාවයෙන් තමයි මෙම කටයුතු සිදුකරන්නේ. මෙම කටයුතු නිසා එක්‌ අතකට රෝගීන්ගේ ජීවිත අනතුරේ වැටෙනවා. අනෙක්‌ අතට රටේ මුදල් විශාල වශයෙන් නාස්‌ති වෙනවා. බොහෝදුරට මෙම කටයුතු වල නිරතවන්නේ සමහර ඖෂධ සමාගම් වල මෙරට නියෝජිතයන් තමයි. සමහර විට විදේශවල පවත්වාගෙන යන මවු සමාගම් මෙම තත්ත්වය දන්නෙත් නැහැ.

මෙම අක්‍රමිකතාවයන්ට එරෙහිව පියවර ගන්නා විට විවිධ තර්ජන ගර්ජන එල්ල වනවා. එහිදී ජාතික ඖෂධ ප්‍රතිපත්තියක්‌ ඇති කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමේදී, පවතින තත්ත්වය නිසා එම තීරණ ගැනීමට සිදුවන්නේ ජීවිතය පිළිබඳව පවා නොතකා හරිමින්. ඒ පිළිබඳව තමයි මම අවස්‌ථා කිහිපයක දී සඳහන් කළේ.

එහෙත් ඇතැම් අවස්‌ථා වලදී සමහර මාධ්‍ය ජාවාරම්කාර සමාගම් වලට වාසිදායක ලෙසට ප්‍රවෘත්ති පළ කරනවා. ඔබේ පුවත්පත පිළිබඳව නම් මම සතුටු වෙනවා. එසේ වුවත් ඇතැම් මාධ්‍ය අපි කරන මෙම විශාල සටන තේරුම් ගන්නේ නැතුව, අපිව අප්‍රසාදයට පත්වන විදියට, අප ගන්නා තීන්දු අඩපණ වන විදියට සහ ජනතාව වෙත වැරැදි චිත්‍රයක්‌ යන විධියේ ප්‍රවෘත්ති ඇතැම් මාධ්‍ය පළ කරනවා.

මෙම ජාවාරම්කාර ඖෂධ සමාගම්වලට එරෙහිව සියලු දෙනාම ඒකරාශි විය යුතුයි. එහිදී රජය, නිලධාරින්, පුරවැසියන් මෙන්ම මාධ්‍යයත් ඒ සඳහා ඒකරාශි විය යුතුයි. එහි දී මාධ්‍යයන්ට විශේෂ වගකීමක්‌ පැවරෙනවා. ජාවාරම්කාර ඖෂධ සමාගම් වල අකටයුතු පරාජයට පත් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවෙයි. එම නිසා තමයි මම ප්‍රකාශ කරන්න වුණේ කුමන තර්ජන ආවත් මෙම වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යන බව. ඒ සඳහා සෑම අංශයකම සහයෝගය අවශ්‍ය වනවා.

ප්‍රශ්නය - ජාතික ඖෂධ ප්‍රතිපත්තියක්‌ හඳුන්වාදීමට අදාළ පනත අතුරුදන් වීම පිළිබඳ සඳහන් කළ එම පනත අතුරුදන් කළේ කුමන පාර්ශ්වයක්‌ ද යන කාරණය පිළිබඳව සොයා බැලුවාද?

පිළිතුර - අපි ඒ පිළිබඳ සොයා බැලුවා. නමුත් ඒකට වෙච්ච දෙයක්‌ නෑ. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයම යටතේ නොවෙයි. එම නිසා ඉන් එහාට සොයා බැලීමේ හැකියාවක්‌ අපට නෑ.

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේදී එබඳු කටයුත්තක්‌ සිද්ධ වුනහම, ඒක සිද්ධ වුණේ කෙසේ ද කියල සොයා බලන එක වගකීව යුතු අයගේ කටයුත්තක්‌.

ප්‍රශ්නය - රජයේ රෝහල් වල ඖෂධ නොමැති බව කිහිප අවස්‌ථාවකදීම මාධ්‍ය වාර්තා කර තිබුණා. එම ප්‍රවෘත්ති පළ වීමත්, ඖෂධ මාµsයාවේ කටයුතුත් අතර සම්බන්ධයක්‌ තිබෙන බවටද ඔබ චෝදනා කරන්නේ.

පිළිතුර - මම සඳහන් කරන්නේ එම ප්‍රවෘත්ති පිළිබඳ නොවෙයි. සමහර මාධ්‍ය, සමහර අවස්‌ථා වලදී වාර්තා කරනවා ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොවෙන්නේ, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වරද නිසා බව. ඒක ජනතාවට ලබා දෙන සම්පූර්ණයෙන්ම වැරැදි සහගත ප්‍රවෘත්තියක්‌ වෙනවා. මෙහි දී අවශ්‍ය වන්නේ සෑම දෙනාගේම සහයෝගය ඇමැතිවරයා ලබාදීමයි. එසේ කටයුතු නොකර ඇමැතිවරයාට චෝදනා කිරීම නිසා මෙම කටයුතු කඩාකප්පල් කිරීමට කූමන්ත්‍රණය කරන ජාවාරම්කාර ඖෂධ සමාගම් වලට වාසිදායක තත්ත්වයක්‌ ඇති වනවා.

විශේෂයෙන්ම ඖෂධ ප්‍රතිපත්තියට අදාළ පනත සකස්‌ කිරීමේදී සිදුවූ සිද්ධිය පිළිබඳ වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය බරපතළ ලෙස වැරදි වාර්තා කරනවා. මම සඳහන් කරන්නේ ඒ පිළිබඳවයි.

ප්‍රශ්නය - පසුගියදා ඔබ මෙරටට බටහිර ඖෂධ ලබා ගැනීම සඳහා බංගලිදේශයේ නිල සංචාරයක නිරත වූවා. මෙම සංචාරයේදී අපේක්‍ෂිත ප්‍රතිඵල ලබා ගත හැකි වූවා ද?

පිළිතුර - දැනට අප ආයතනය කරනු ලබන බටහිර ඖෂධ සඳහා 80% ක්‌ ටෙන්ඩර් ඉදිරිපත් වන්නේ ඉන්දියාවෙන්. ඉතිරි 20% ක්‌ තමයි ලෝකයේ අනිත් රටවල්වලින් ආනයනය කරනු ලබන්නේ. නමුත් ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන ඖෂධ වල ප්‍රමිතිය බාලවීම, කලට වෙලාවට නොසැපයීම, යන කරුණු පදනම් කරගෙන ඖෂධ නිෂ්පාදනය කරනු ලබන අනෙකුත් රටවල් පිළිබඳවත් අප සොයා බැලුවා. බංගලිදේශ රජය යටතේ ඖෂධ සමාගම් කිහිපයක්‌ තිබෙන බව අපට දැන ගන්නට ලැබුණා. එම කර්මාන්ත ශාලා පාලනය වන්නේ සම්පූර්ණයෙන්ම රජය යටතේ.

මම ජනාධිපතිතුමාගේ නියෝජිතයෙක්‌ ලෙස තමයි බංගලිදේශයේ අගමැතිනි ශීක්‌ හසීනා මහත්මිය හමුවූයේ. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම, විදේශ ඇමැතිවරයාත් ඖෂධ බලධාරීනුත් එම සංචාරයේ දී මුණ ගැසුණා. මේ වනවිට ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර අවබෝධතා ගිවිසුමක්‌ අත්සන් කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතිනවා. ඒ වගේම මේ මොහොත වනවිට අපට අවශ්‍ය, අතශවශ්‍ය ඖෂධ පිළිබඳ ලේඛනයක්‌ අපි එම රටට ලබාදී තිබෙනවා. ළඟදීම එම ඖෂධ අපට ලැබෙනවා.

බංගලිදේශ ඖෂධ වල ප්‍රමිතිය ඉතා හොඳයි. ඒ වගේම ඖෂධ ජාවාරම්කාරයන්ගේ අකටයුතු පරාජය කිරීම සඳහාත් දෙරට අතර ඇති වූ මෙම සම්බන්ධය ඉවහල් වේවි කියා අප සිතනවා.

සාකච්ඡා කළේ-
එරික්‌ ගාමිණී ජිනප්‍රිය
 

No comments:

Post a Comment