Wednesday, May 15, 2013

මව්බිම 2013-05-16

රෝහල්වලින් නිකුත් කළ බාල බෙහෙත් ගැන කිසිම පරීක්ෂණයක් පවත්වා නෑ
චන්ද්‍රසේන මාරසිංහ

රුපියල් අනූහතර කෝටි දහඅට ලක්‍ෂ හැත්තෑ දහසක් වටිනා ප්‍රමිතියෙන් තොර ඔෟෂධ තොගයක් රෝහල්වලින් රෝගීන්ට නිකුත් කර ඇතත් එමඟින් රෝගීන්ට සිදුවූ හානි ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරීක්‍ෂණයක් පවත්වා නැතැයි රජයේ විගණකාධිපති එච්. ඒ. එස්. සමරවීර මහතා පාර්ලිමේන්තුවට වාර්තා කර තිබේ.

සමාලෝචිත විගණන වර්ෂයේදී (2011) මිලට ගත් රුපියල් 97 කෝටි දස ලක්‍ෂයක ඔෟෂධ තොගයෙන් ප්‍රමිතියෙන් තොර රුපියල් අනූහතර කෝටි දහඅට ලක්‍ෂ හැත්තෑ දහසක් (9,41,870,000) වටිනා ඔෟෂධ තොගයක් රෝගීන්ට නිකුත් කර ඇති බවත් ප්‍රමිතියෙන් තොර ඔෟෂධ පාවිච්චි කළ රෝගීන්ට සිදුවූ හානි ගැන සෞඛ්‍ය ක්‍ෂේත්‍රයෙන් පරීක්‍ෂණයක්ද පවත්වා නැති බව විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් පෙන්වා දෙයි.

රජයේ රෝහල්වලට අවශ්‍ය ඔෟෂධ තොග ගණනය කර කල් ඇතිව ඇණවුම් කර ශ්‍රී ලංකා ඔෟෂධ සංස්ථාව මඟින් සපයා ගැනීම නෛතික මාර්ගය වුවද ඒ ක්‍රමයෙන් පරිබාහිරව විවෘත වෙළෙඳපොළෙන් ඉහත වර්ෂයේදී රුපියල් හාරසිය දහඅට කෝටි පනස් ලක්‍ෂයක ඔෟෂධ මිලට ගෙන තිබේ.

එමඟින් සිදුවූ අලාභය රුපියල් එකසිය හතළිස් පන්කෝටි විසි ලක්‍ෂයකි. මෙසේ සපයාගනු ලැබ ඇති ඔෟෂධවලින් වැඩි ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර ඒවා බවට විගණන වාර්තාවේ සඳහන් වේ.

කෙසේ වෙතත් 2011 සහ 2012 යන වර්ෂ අතර කාලයේදී රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර නිවැරැදිව නොකිරීම නිසා සිදුවූ හානි වෙනුවෙන් රෝගීන්ට ගෙවීමට සිදුවූ ඇති වන්දි මුදල රුපියල් පනස් හයලක්‍ෂ අසූහත් දහස් පන්සීයක් බව විගණකාධිපතිවරයා පෙන්වාදී ඇත.

මේ පිළිබඳ විමසීමේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු කීවේ ප්‍රමිතියෙන් තොර ඔෟෂධ සපයා ගැනීම ගැන විගණනයෙන් කොතෙක් කරුණු අනාවරණය කළත් සෞඛ්‍ය අංශය ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වන බැවින් රෝගීන්ට හානි සිදුවෙනවා පමණක් නොව මහජන මුදල්ද නිරපරාදේ නාස්ති වන බවයි.

No comments:

Post a Comment