Tuesday, May 14, 2013

රජයේ රෝහල්ගත රෝගියකු සඳහා
දිනකට රු.හාරදහසක්‌ වැයකරනවා

දැඩි සත්කාර ඒකකයේ නම් මුදල දස දහසයි
- ඇමැති මෛත්‍රිපාල සිරිසේන

ආර්. එම්. ඩබ්ලිව්. බණ්‌ඩාර - කුරුණෑගල

රජයේ රෝහලකට ඇතුළත් වන එක්‌ රෝගියකු වෙනුවෙන් රජය දිනකට ඖෂධ සඳහා හැර රුපියල් හාර දහසක මුදලක්‌ වැයකරන බවත් දැඩි සත්කාර ඒකකයේ රෝගියකු වෙනුවෙන් ඖෂධ හැර දිනකට රුපියල් දස දහසක්‌ වැය කරන බවත් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බැව් පැවැසුවේ රුපියල් දස ලක්‌ෂ 29 ක්‌ වැය කර මීගමුව ජයන්තිපුර ප්‍රදේශයේ දානපති පවුලක්‌ විසින් කුරුණෑගල ශික්‌ෂණ රෝහලට ඉදිකර දුන් ඇඳන් 08 ක්‌ සහිත අංගසම්පූර්ණ දැඩි සත්කාර ඒකකය විවෘත කිරීමේ උත්සවයේදීය.

ධම්මිකා සේපාලි ජයසිංහ අනුස්‌මරණ දැඩි සත්කාර ඒකකය නමින් එය නම්කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් සෞඛ්‍ය ඇමැතිවරයා මෙසේද කීවේය.

නිදහස්‌ සෞඛ්‍ය සේවාවක්‌ තියෙන්නේ ශ්‍රී ලංකාවේ පමණයි. රෝගීන් රජයේ රෝහලකට ඇතුළත්වූ පසු රජය කරන ආයෝජනය ගැන ඒ එය තුළ ඇති අවබෝධය අඩුයි.

නිදහස්‌ රාජ්‍ය සේවය වෙනුවෙන් රජය වැයකරන මුදල වෙනුවෙන් සෑම කෙනකුටම අවබෝධයක්‌ තිබිය යුතුයි.

මම සිංගප්පූරුවට ගිහිල්ලා පෞද්ගලික රෝහලක්‌ බලන්න ගියා. ඒ රෝහලේ අධ්‍යක්‍ෂවරයා මහාචාර්යවරයෙක්‌. ඔහු ඒ රෝහලේ කරන්නාවූ කාර්ය පිළිබඳ මට පැහැදිලි කිරීමක්‌ කළා. ඊට පසු මම අපේ රටේ නිදහස්‌ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ඉදිරිපත් කිරීමක්‌ කළා. මහාචාර්යවරයා ඔළුවේ අත තියා ගත්තා. අපි සියල්ලම නොමිලයේ කරන සෞඛ්‍ය සේවාව ගැන අහලා. ඔහු මට පෞද්ගලිකව දුන් අවවාදය තමයි රටක සෞඛ්‍ය සේවාවෙන් ජනතාව නිරෝගිමත් වන්නේ ජනතාවගේ සාක්‌කුවට දැනුණොත් තමයි. තමුන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් බරක්‌ තමන්ගේ සාක්‌කුවට දැනුනේ නැත්නම් තමන්ට නිරෝගිමත් පුද්ගලයකු වෙන්න වුවමනාවක්‌ නැහැ. ඒ කොහොම වුණත් අපි නිදහස්‌ සෞඛ්‍ය සේවාව දුර්වල කරන්නෙ නෑ. තව තවත් ශක්‌තිමත් කරන එක ඉදිරියටත් කරගෙන යනවා.

ජාතික හා අන්තර් ජාතික වශයෙන් සෞඛ්‍ය සේවයට විශාල පරිත්‍යාග ලැබෙනවා. ජනතාවගෙන් ලැබෙන මෙවැනි පරිත්‍යාග ඉතාමත් අගය කළ යුතුයි.

කුරුණෑගල නගර ආසන්නයේ මීගමුව මාර්ගයේ පදිංචිව සිටි ධම්මිකා සේපාලි ජයසුන්දර මහත්මියගේ අන්තිම කැමැති පත්‍රයට අනුව මෙම හෘද රෝග දැඩි සත්කාර ඒකකය. ඇගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද්දකි.

ජ්‍යෙෂ්ඨ ඇමැති එස්‌. බී. නාවින්න, ඇමැති ජයරත්න හේරත්, රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය පාලිත ඩී. යාපා, නි. අධ්‍යක්‍ෂ වෛද්‍ය දේදුනු ඩයස්‌ ඇතුළු විශාල පිරිසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

No comments:

Post a Comment