Wednesday, July 16, 2014

අපස්මාරය නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් සම්පූර්ණයෙන් පාලනය කළ හැකිය


ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
(කොළඹ, ලංකාපුවත්) - අපස්මාරය හෙවත් මීමැස්මොරය මොලයේ සිදුවන සාමාන්‍ය විද්‍යුත් ක්‍රියාදාමයේ සුළු මොහොතකට ඇති වන අසාමාන්‍ය අධිවේගී වෙනසක් හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයකි.
මෙම රෝගය බෝවන රෝගයක් නොවන අතර සරල ප්‍රතිකාර මගින් සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකි රෝගී තත්ත්වයක්  බව ජාතික රෝහලේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය රංජනී ගමගේ මහත්මිය පවසයි.
දැනට ලොව පුරා මිලියන 50ක් පමණ අපස්මාරය රෝගයෙන් පෙලෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඇස්තමේන්තු ගත කර ඇත.ශ්‍රී ලංකාවේ මෙම රෝගී තත්ත්වය  ඇති පුද්ගලයින් ලක්ෂ 03ක් පමණ වන බවද රංජනී ගමගේ මහත්මිය සඳහන් කළාය.
මෙම රෝගය ඕනෑම වයසකදී ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව ඇතිවිය හැකි අතර රෝගීන්ගේ ප්‍රවණතාවය ජනගහණයෙන් 1000කට රෝගීන් 09ක් බව අනාරණය වේ.
මෙහි රෝගී ලක්ෂණ ලෙස සිහි නැතිවීම, කටින් සෙම වැගිරීම, දතකට පූට්ටු වීම, අතපය දරදඩු වීම, ගැස්සීම හා ඇතැම් විට මුත්‍රා පිටවීමද දැකිය හැකිය. අපස්මාරය සෑදුනු රෝගියෙකු සමාජයෙන් කොන් කිරීමක් සිදු නොකළ යුතු අතර ඔවුන්ගේ ජීවන රිද්මය නොබිදී පවත්වාගෙන යාමට ඉඩ සලසා දිය යුතු වනු ඇත.
අපස්මාරය නිසා රෝගීන්ට ඇතිවන මානසික, සාමාජිය, හා ආර්ථික බලපෑම රෝගය නිසා ඇතිවන කායික බලපෑමට වඩා වැඩි වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ මානසික රෝග විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය පවසයි.
අපස්මාරය අදෘෂ්‍යමාන භූත බලවේග විසින් කරන බලපෑමක් නිසා ඇතිවන රෝග තත්ත්වයක් බවට සමාජයේ මිත්‍යා විශ්වාසයක් ගොඩනැගී තිබේ.මෙම තත්ත්වය හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ගැටළුවලට මුහුණ දීමට සිදු වන බවද අනාවරණය විය.
යම් පුද්ගලයෙකුට මෙම රෝගය වැලදුණු විට යකඩ  කැබැල්ලක් අතට දීම, හැන්දක් කටට දැමීම මෙන්ම වතුර හෝ බෙහෙත් ජාති පෙවීම සිදු නොකළ යුතුවනු ඇත. එසේ කිරීම තුළින් රෝගීන්ගේ ජීවිතවලට පවා ඉඩ ඇති බවද විජේතුංග මහත්මිය පෙන්වා දෙයි.
අපස්මාරය රෝගය සෑදුණු රෝගියෙකු දුටුවිට සෙම හිරවී රෝගියාගේ ජීවිතයට අනතුරක් වීම වැලැක්වීමට රෝගියා පැත්තකට හරවා තිබිය යුතුය. විනාඩි කිහිපයකින් රෝගය සමනය නොවුනහොත් වහාම ලගම ඇති රජයේ රෝහලකට යොමු කළ යුතුය.
මෙම රෝගය කිසිම ආකාරයකින් අධ්‍යාපනය, රැකියාව, විවිහාය හා දරුවන් ලැබීම හෝ සාර්ථක ජීවිතයක් ගත කිරීමට බාධාවක් නොවනු ඇත. අපස්මාරය සෑදුනු රෝගියෙකු අවම වශයෙන් වසර දෙකක් හෝ තුනක් අතර කාලයක් අඛන්ඩව නිසි ප්‍රතිකාර ලබා ගත යුතු වේ. ඇතැම් රෝගීන්ට වසර 05ක් හෝ 06ක් වැනි දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලබා ගැනීමට සුදු වනු ඇත.

No comments:

Post a Comment