Friday, September 20, 2013

සිගරට් පැකැට්ටුවට රූපමය අවවාද බෑ - ඇමතිට එරෙහිව අතුරුතහනමක්


සිගරට් පැකැට්ටුවට රූපමය අවවාද බෑ - ඇමතිට එරෙහිව අතුරුතහනමක්
September 20, 2013  04:47 pm
සිගරට් දවටනවල 80%ක් ආවරණය වන පරිදි රූපමය අවවාද සහිතව වෙළඳපලට නිකුත් කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලද රෙගුලාසිය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරුතහනම් නියෝගක් ලබාදී තිබේ.

2012
වසරේදී සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිගරට් පැකැට්ටුවල රූපමය අවවාද ඇතුළත් කළ යුතු බවට රෙගුලාසියක් ගෙන එන ලද අතර ඊට එරෙහිව දුම්කොළ සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබිණි.

අදාළ පෙත්සම අද (20) සලීම් මර්ෂුක්,සත්‍යා හෙට්ටිගේ සහ ඊවා වනසුන්දර යන විනිසුරුවරුන් හමුවේ සලකා බැලීමෙන් පසු බහුතර තීන්දුවක් ලෙස මෙම අතුරුතහනම් නියෝගය නිකුත් කෙරිණි.

කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර විනිසුරුවරිය මෙම තීන්දුවට පක්ෂග්‍රාහී නොවුණු බව අද දෙරණ අධිකරණ වාර්තාකරු කියා සිටියි.

අමාත්‍යවරයා විසින් අදාළ රෙගුලාසිය පැනවීමෙන් පසු එය ක්‍රියාත්මක කිරීමට කාලය ප්‍රමාණවත් නොවන බව හා එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බවට කරුණු දක්වමින් දුම්කොළ සමාගම විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

කෙසේ වෙතත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවක් වූ මෙම අතුරුතහනම් නියෝගය 2014 ජනවාරි මස 22 වන දින දක්වා බලපැවැත්වෙන බවත්, එදිනට අදාළ නඩුව යළි සලකා බලන බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය විය.

මහනුවර ස්කෑන් යන්ත්‍රය අබලන් වෙයි

හදිසි රෝගීන් වෙනත් රෝහල්වලට2013 සැප්තැම්බර් 20  04:35 p.m
ctcscanමහනුවර ශික්ෂණ රෝහලේ සී.ටී. ස්කෑන් යන්ත්‍රය ඉකුත් සඳුදා (16) සිට ක්‍රියා විරහිත වීම හේතුවෙන් හදිසි හා අසාධ්‍ය රෝගීන් කුරුණෑගල සහ කොළඹ මහ රෝහල් කරා පිටත් කර යවන්නට රෝහල් අධිකාරියට සිදු වී තිබේ. මහනුවර රෝහලේ වැඩ බලන වෛද්‍ය අධ්‍යක්ෂ ආර්.එම්.එස්.කේ. රත්නායක මහතා මෙම පුවත සනාථ කළ අතර ඔහු වැඩිදුරටත් පැවසූවේ සී.ටී.ස්කෑන් යන්ත්‍රයේ අළුත්වැඩියා කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි.
මෙම තත්ත්වය තුළ මාතලේ, දඹුල්ල, තෙල්දෙණිය, නාවලපිටිය, නුවරඑළිය, දික්ඔය සහ ගම්පොළ ප්‍රධාන රෝහල්වලින් සී.ටී. ස්කෑන් පරීක්ෂණ සඳහා යොමු කරන හදිසි රෝගීන් භාර ගැනීම අත්හිටුවීමට මහනුවර ශික්ෂණ රෝහලට සිදු වී තිබේ. පුද්ගලික අංශයෙන් සී.ටී.ස්කෑන් පරීක්ෂණයක් සිදුකරවා ගැනීමට රුපියල් දසදහසකට ආසන්න මුදලක් වැය වෙතැයි වාර්තා වේ.
අශෝක එරමිණිගම්මන - දඹුල්ල

Add comment

පොලොන්නරැවේ රෝහල් කාර්ය මණ්ඩලයට කළ දෙමළ භාෂා පුහුණු වැඩසටහනක කළ එලි දැක්ම

ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතන‍යේ මෙහෙයවීමෙන් පොළොන්නරැව මහ රෝහලේ පසුගියදා පැවත්වූ දෙමළ භාෂා පුහුණු වැඩසටහන අවසන පැවති කුසලතා එලි දැක්වීම සිදුවූයේ රෝහල් ශ්‍රවනාගාරයේදී. ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතන‍යේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් හේරත් මහතා එහි විශේෂ ආරාධිතයා විය.
වෛද්‍ය අධිකාරී පානි සෝමරත්න ,විශේෂ ‍ශ්‍රේණියේ හෙද නිළධාරීන් ,හෙද සොයුර සොයුරියන් හෙද හෙදියන් පවුල් සෞඛ්‍ය සේවිකාවන් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය  ඇතුළු විශාල පිරිසක්  සමග ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතන‍යේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හා නිළධාරී පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.  දෙමළ සංස්කෘතියට බරව මෙම උත්සවය පැවත්වුණි.
මෙහි විශේෂ අවස්ථාවන්  පහතදැක්වේ























Tuesday, September 17, 2013

ලබන වසරේ ඖෂධ මිලට ගන්න රු. මිලියන 10,000 ක්‌

ලබන වසරේ ඖෂධ මිලට ගන්න රු. මිලියන 10,000 ක්‌

ජයන්තිපුර - උඩගෙදර

2013 වසරට සාපේක්‍ෂව ලබන 2014 වසරේදී රුපියල් මිලියන 10000 ක මුදලක්‌ ඖෂධ මිලදී ගැනීමට මෙවර අයවැය මගින් වැඩිපුර වෙන්කරදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අනුව 2014 වසරේදී ඖෂධ මිලට ගැනීමට වෙන්කර ඇති සමස්‌ත මුදල රුපියල් මිලියන 35,000 කි. සමස්‌ත සෞඛ්‍ය ක්‍ෂේත්‍රය වෙනුවෙන් 2014 අයවැය ලේඛනය මගින් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 150 ක්‌ බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

දිවයිනේ රෝහල්වල බාහිර රෝගී අංශ රාත්‍රි 8.00 තෙක්‌ විවෘතව තිබීම රෝහල්වල නව ඒකක ස්‌ථාපිත වීමක්‌ නිසා මෙසේ ඖෂධ අවශ්‍යතාව වැඩි වී ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.

රට පුරා රෝහල්වලට වෛද්‍ය උපකරණ ගන්න කෝටි 1200 ක්‌ වැයවෙයි

රට පුරා රෝහල්වලට වෛද්‍ය උපකරණ
ගන්න කෝටි 1200 ක්‌ වැයවෙයි

- සෞඛ්‍ය ඇමැති කියයි

ජයන්තිපුර - උඩගෙදර

මේ වන විට දිවයින පුරා පිහිටි රෝහල් සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මිලට ගැනීම සඳහා රුපියල් කෝටි 1200 ක මුදලක්‌ වැයවන බවට ගණන් බලා ඇතැයිද එම යෝජනාව දැනටමත් මහා භාණ්‌ඩාගාරය වෙත යොමුකර ඇති බව ද සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

දැනට රෝහල් සතුව ඇති උපකරණ දීර්ඝකලක සිට සේවයේ යෙදවීම නිසා ඒවා වැඩි ප්‍රමාණයක්‌ ක්‍ෂයවී ඇති බැවින් නවතම වෛද්‍ය උපකරණ මිලට ගැනීම සඳහා එලෙස ගණන් බැලූ බවද කීය. මෙරට වෛද්‍යවරුන් විදේශීය මට්‌ටමේ විශේෂ පුහුණුවීම් ලබා නැවත මව්බිමට පැමිණි පසු ලංකාවේ රෝහල්වල කටයුතු කිරීමට අඩුපාඩු වේ. එනම් විධිමත් වෛද්‍ය උපකරණ නොමැතිවීමෙන් ඔවුන් ලැබූ පුහුණුවට සරිලන අයුරින් සේවාවක්‌ සිදුකිරීමට නොහැකි තත්ත්වයක්‌ පවතී. එවැනි විශේෂඥ පුහුණුවීම් ලද වෛද්‍යවරු දුෂ්කර පළාත්වල සේවය සඳහා යෙදවුවද ස්‌ථාන මාරුවීම් අවලංගු කර නැවත කොළඹට පැමිණීම බරපතළ ප්‍රශ්නයක්‌ බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබන (2014) වසරේදී මිලදී ගැනීමට අදාළ යෝජනාව භාණ්‌ඩාගාරය වෙත යොමු කළ බව ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
 

ෆොන්ටෙරාට එරෙහි හෙද සංගමයේ පෙත්සම 24 දා ෆොන්ටෙරාත් නඩු දමයි


ෆොන්ටෙරාට එරෙහි හෙද සංගමයේ පෙත්සම 24 දා
ෆොන්ටෙරාත් නඩු දමයි

ගම්පහ අධිකරණ - විල්සන් පලිහවඩන සහ ගම්පහ සමූහ - සුසිල් රණමුක


ෆොන්ටෙරා කිරිපිටි සමාගමට එරෙහිව පනවා තිබූ වාරණ නියෝගය අහෝසි කරමින් ගම්පහ දිසා අධිකරණය දී තිබූ නියෝගය අභියෝගයට ලක්‌කර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විසින් ගොනුකර තිබූ පෙත්සම විභාග කිරීම ලබන 24 වැනිදා නැවත කැඳවන ලෙසට ගම්පහ බස්‌නාහිර පළාත්බද සිවිල් අභියාචනාධිකරණය ඊයේ (17 වැනිදා) නියෝග කළේය.
අදාළ පෙත්සම විභාගයට ගත් අවස්‌ථාවේ ෆොන්ටෙරා සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහත්වරු මෙම නඩුවට තම සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ඉසුරු බාලපටබැඳි මහතා ඊයේ කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවකට පෙනී සිටින හෙයින් කෙටි දිනයක්‌ ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ.

එහිදී දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ගේ කරුණු සලකා බලා සිවිල් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ශිරෝමි පෙරේරා සහ එච්. ඒ. තාසිම් යන මහත්මීහු ලබන 24 වැනිදා පස්‌වරු 1.30 ට නඩුව විභාගයට ගැනීමට තීරණය කළහ.

ෆොන්ටෙරා කිරිපිටි සමාගම නිෂ්පාදන බෙදාහැරීම හා අලෙවිය හා ප්‍රචාරය කිරීම වළක්‌වාලමින් ගම්පහ දිසා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක්‌ අනුව වාරණ නියෝගය පනවා තිබූ අතර පසුව එම සමාගම විසින් කරනු ලැබූ ඉල්ලීමක්‌ මත අධිකරණය මගින් වාරණ නියෝගය අහෝසි කර තිබිණි.

වාරණ නියෝගය අහෝසි කිරීම අභියෝගයට ලක්‌කරමින් පැමිණිලිකාර හෙද නිලධාරීන්ගේ සංගමය ගම්පහ බස්‌නාහිර පළාත්බද සිවිල් අභියාචනාධිකරණයට පෙත්සමක්‌ ගොනුකර තිබිණි.

ජනාධිපති නීතිඥ නයිජල් හැක්‌ෂි මහතා විසින් ෆොන්ටෙරා සමාගමට අපහාසයක්‌ වී ඇතැයි කියමින් ඊට එරෙහිව සමන් රත්නප්‍රිය මහතා ඇතුළු දෙදෙනකුට එරෙහිව ද ඊයේ නඩුවක්‌ ගොනුකර තිබිණි. මෙම නඩුව වෙනම විභාගයට ගන්නා බව විනිසුරුවරුන් තීරණය කළ අතර මෙම නඩු දෙකම 24 වැනිදා විභාගයට ගැනීමට තීරණය කෙරිණි.

පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල් පෙරේරා, නීතිඥ සඳමාල් රාජපක්‍ෂ හා උපුල් දේශප්‍රිය යන මහත්වරු පෙනී සිටියහ. ෆොන්ටෙරා සමාගම වෙනුවෙන් නීතිඥ සුදත් පෙරේරා ඇසෝසියේටඩ් සමාගමේ නීතිඥවරුන් වන මහේෂ් බණ්‌ඩාර, ලක්‍ෂාන් පෙරේරා, බිනර ගුණසේකර, සමිඳු සිල්වා යන මහත්වරු පෙනී සිටියහ.

කිරිපිටි වල ඩී.සී.ඩී. පරීක්ෂණ නවතා නෑ

කිරිපිටි වල ඩී.සී.ඩී. පරීක්ෂණ නවතා නෑ

September 17, 2013  02:50 pm

ආනයනික කිරිපිටි වර්ග වල ඩී.සී.ඩී රසායනිකය අඩංගු වන්නේ ද යන්න පරීක්ෂා කිරීම සඳහා වරායේ දී සිදුකරන පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

එම පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව ඒවා වෙළදපොළට නිදහස් කිරීමට පියවර ගත යුතු බවට ආහාර උපදේශක කමිටුව විසින් තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් පත් කරන ලද අමාත්‍ය අනුකමිටුවේ උපදෙස් පරිදි ආහාර උපදේශක කමිටුව විසින් ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙළේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සාකච්ජාවක් කැඳවා තිබු අතර එහිදී මෙම තීරණය දැනුම් දී තිබේ.

අදාළ සාකාච්ජාවේ දී ආනයනික කිරිපිටිවල ඩී.සී.ඩී රසායනිකය අන්තර්ගතවීම සම්බන්ධයෙන් සහ මෙතෙක් ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ මෙන්ම මහජන සෞඛ්‍ය ආරක්ෂණය උදෙසා ඉදිරියේ දී ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ජා වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ඩී.සී.ඩී රසායනිකය අන්තර්ගතව ඇත් දැයි පරීක්ෂාවට ලක් නොවූ කිරිපිටි වර්ග වෙළඳපළේ තවදුරටත් ඇත්නම් ඒ පිළිබද වහාම සොයාබලා පරීක්ෂාවට ලක් කිරීමටත් වෙළදපොළෙන් ඉවත් කළයුතු බවට තීරණය කරනු ලැබූ කිරිපිටි වර්ග හෝ කාණ්ඩ වෙළඳපොළේ පවතින්නේ ද යන්න පිළිබඳව පරීක්ෂණයට ලක් කළ යුතු බවටත් අදාළ සාකච්ජාවේ දී තීරණය වී ඇත.

එමෙන්ම ඩී.සී.ඩී රසායනිකය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සහ ආහාර වල සුරක්ෂිතතාව පරීක්ෂා කිරීම සඳහා බොරැල්ල වෛද්‍ය පරීක්ෂණාගාරය තුළ අවශ්‍ය රසායනාගාර පහසුකම් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද අදාළ සාකච්ජාවේ දී අවධානය යොමු වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.


friend